අපගේ දැක්ම
පාලින්දනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජනතාවට සමෘද්ධිමත් ජීවන තත්වයක්අපගේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම තිරිසාර හා සැලසුම් සහගත සංවර්ධන ක්‍රියාවලියක් තුළින් පාලින්දනුවර ප්‍රදේශයේ ජන ජීවිතය නංවාලීම
පිහිටිම හා හැදින්විම
උතුරින් කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය හා රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම හා කලවාන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස වලින්ද , දකුණින් ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම හා නෙළුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස හා කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන්ද නැගෙනහිරින් රත්නපුර දිස්ත්‍රික්කයේ (නැගෙනහිර පස්දුන් කෝරලයට අයත් පාලින්දනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 14 අතුරින් විශාලතම කොට්ඨාසය වේ. අගලවත්ත මැතිවරණ කොට්ඨාසයට අයත් මෙම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ මුළු භුමි ප්‍රමාණය වර්ග කි.මි. 286.3 ක (හෙක්ටයාර් 26907 ) විශාලත්වයකින් යුක්ත වේ.) කලවාන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන්ද , බටහිරින් කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන්ද පාලින්දනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය මායිම් වී ඇත.
කළුතර හා අගලවත්ත හරහා එන ප්‍රධාන මාර්ගය බදුරලිය නගරය මැදින් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය හරහා රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන නගරය දක්වා විහිදේ.
• දිස්ත්‍රික්කය - කළුතර
• මැතිවරණ කොට්ඨාසය - අගලවත්ත
• ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය - පාලින්දනුවර
පාලින්දනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය පරිපාලන පහසුව සදහා ග්‍රාම නිලධාරි වසම් 43 කට බෙදා ඇත.
ප්‍රවහන පහසුකම් ඉතා හීන වු විශාල භුමි ප්‍රමාණයක්ව පැවතිම නිසා මෙම ප්‍රදේශය බස්නාහිර පළාත තුල පිහිටි දියුණුවෙන් ඉතාම අඩු ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයක් වීමට ප්‍රධානවම බලපා ඇත. බස්නාහිර පලාතේ දිළිදු භාවයෙන් දෙවන ස්ථානය මෙම කොට්ඨාසයට හිමි වේ. කොට්ඨාසයේ ජනතාවගෙන් 50% ක්ම කෘෂිකර්මාන්තය හා ඒ ආශ්‍රිත රැකියා වලින් තම ජිවනෝපාය සලසා ගනු ලබයි.
පුරාතන ගද්‍ය හා පද්‍ය සාහිත්‍ය තොරතුරු
පාලින්දනුවර ප්‍රදේශයේ ඵෙතිහාසික ගමන් මග ආරම්භය අනුරාධපුර යුගය තෙක් ඈත අතීතයකට දිව ගිය ද නිශ්චිත ලිඛිත හෝ ද්‍රව්‍යමය සාධක සෘජු ලෙස දැක්විය නොහැක. ඒ කෙසේ නමුත් කෝට්ටේ යුගයේ දී ඉතා වැදගත්කමක් උසුලන පාලින්දනුවර පිළිබඳව පැරණි ගද්‍ය සාහිත්‍යෙය් විවිධ සටහන් හඳුනාගත හැකි ය. ඒ අතර විශේෂයෙන් රාජාවලිය හා චූලවංශය ආදී කෘතීන් සාක්‍ෂි දරයි.
පැළෑඳ රාජධානියක් ලෙස වීදීය බණ්ඩාර කුමරුන් පාලන මධ්‍යස්ථානයක් මෙන් ම යුධ කටයුතු සඳහා සුදුසු ආරක්‍ෂිත ස්ථානයක් ලෙස බාවිත කළ බවත් චූල වංශයේ ඉතා පැහැදිලිව දක්වා ඇත. එහි දැක්වෙන අදහසට අනුව පාලින්දනුවර ප්‍රදේශයට කළුගඟෙන් එතෙර වී අටළුගම බණ්ඩාරගම හරහා අගුරුවාතොට ඔස්සේ වන දුර්ග වලින් ගහන පැළෑඳ ප්‍රදේශය තෙක් පැමිණ කඳවුරු ලා ගත් බව සඳහන් වේ.
කාල තිතථං තතො ගනත්වා
පඤච යොජන රටඨකෙ
පුර පිලින්ද ගාමසමිං
මාපිතතාන වසිනතහිං
ආදී ලෙස චූල වංශයේ දක්වා ඇත. මේ අනුව පැළෑඳ ප්‍රදේශයේ පදිංචි වූ විදීය බණ්ඩාර කුමරුට අවශ්‍ය කරන ආභරණ තනවා ගත් ස්ථානය මෙම පැළෑඳ ප්‍රදේශය නිසා පිලින්ද යනු ආභරණ බැවින් පාලින්ද ලෙස ගත් බවත්, පාලින්ද ප්‍රදේශය තම පාලන කේන්ද්‍රය කරගත් බැවින් එම නුවර, පාලින්දනුවර ලෙස අවසානයේ දී නම් ව්‍යවහාර වූ බව සිතිය හැක.කෙසේ නමුදු පැළැඳ ලෙස දක්වා ඇති මෙම පාලින්දනුවර ප්‍රදේශයේ කෝට්ටේ යුගය පිලිබඳ ඉතා නිරවුල් සාඡක සපයන බවත් හඳුනාගත හැක.
මෙයට අමතරව මහා වංශයේ ද පස්යොදුන් රට පිළිබඳව විවිධ අවස්ථාවල දක්වා ඇති බැවින් පාලින්දනුවර ප්‍රදේශයට ද එහි වැදගත් කමක් ගලා එන බව සිතිය හැක.සෘජු ලෙස ඒ බව දැක්විය නොහැකි නමුත් පොළොන්නරු සමයේ මෙරට පාලනය කළ මහා පරාක්‍රමබාහු රජතුමාගේ අවධානයට මෙම ප්‍රදේශය ලක් වූ බව ඉතා පැහැදිලි ය. සන්දේශ කාව්‍ය හෝ වෙනත් පද්‍ය සාහිත්‍ය කෘති තුළ පැහැදිලි ව හඳුනාගත හැකි තොරතුරු පාලින්දනුවර පිළිබඳව දක්වා ඇති ආකාරයක් නම් හඳුනාගත නොහැක.
පාලින්දනුවර පුරාවිද්‍යාත්මක සාධක
පස්යොදුන් රට විමසීමේ දී එහි පුරාවිද්‍යාත්මක වටිනාකම සලකා බලන විට නිතැතින්ම අවධානය යොමු වන ප්‍රදේශයක් ලෙස පාලින්දනුවර හඳුනා ගත හැක. එසේ නමුත් පුරා විද්‍යාත්මකව වැදගත් වන පැහැදිළි ව හඳුනාගත හැකිද්‍රව්‍යමය සාධක හෝ ලේඛනගත සාධකයන්හි හිඟකම ප්‍රබල ගැටළුවකි. එහෙත් මෙවන් වැදගත් ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ප්‍රදේශයක ඵෙතිහාසික වැදගත්කම ඉස්මතු කරදීමට උරදෙන යම් යම් සාධක නැත්තේ ම නොවේ.විශේෂයෙන් හඳුනාගත හැකි පුරාවිදයාත්මක සාධක පහැදිලි කර ගැනීම සඳහා මෙසේ දැක්වීම වඩා සුදුසු වේ.
ද්‍රව්‍යමය සාධක
පාලින්දනුවර ඵෙතිහාසික පුරවරයේ අගනගරය ලෙස වීදිය බණ්ඩාර තම පාලන කේන්ද්‍රය කර ගත් ස්ථානය පැළෑඳ ප්‍රදේශයයි. ඒ බව සනාථ කරනු ලබන ගල්කණු, කටාරම් සහිත කණු වලවල් පැළෑඳ ගල්කණු ගොඩැල්ල පුරාණ විහාර භූමියේ දැකිය හැක. මේවා වීදීය බණ්ඩාරගේ මාලිගාවේ නැතහොත් ඔහු වාසය කරන ලද ගෘහයේ හේෂිත කොටස් ලෙස සැලකේ. මෙයට අමතර ව තම වාසස්ථානය ලෙස තෝරා ගත් ප්‍රදේශයේ ම යුධ කටයුතු සඳහා අවශ්‍ය කරන ආයුධ නිෂ්පාදනය කළ බවට පැහැදිලි සාධක දැනට හඳුනාගෙන ඇත.ආයුධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ලෝහ ලබා ගැනීමට සකසා ගන්නා ලද විශාල යබර වලවල් අදත් ඉතා හොඳින් පැළෑඳ ප්‍රදේශයේ දක්නට ඇත. එමෙන් ම විවිධ ස්වරූපයන්ගෙන් සකස් කරන ලද හෙල්ල,පොරව, කඩු ආදි යුධ උපකරණ එම ප්‍රදේශයේ තිබී සොයා ගෙන දැනට ඉන් කොටසක් කොළඹ ජාතික කෞතුකාගාරයේ, පැළැඳ පුරාණ විහාරස්ථානයේ තැන්පත් කර ඇත. මෙම කටයුතු සඳහා අවශ්‍ය ජලය ලබාගත් ඇළ “ පන්නේ ඇල ලෙස අදටත් දැකිය හැක.
මෙයට අමතරව වීදිය බණ්ඩාර කුමරු හා සම්බන්ධ ඵෙතිහාසික වතගොත පාලින්දනුවර ප්‍රදේශය පුරාම ව්‍යාප්තව ඇත. ඒ බව සනාථ කරනු ලබන විවිධ ගවේශනයන් ඔස්සේ පැහැදිලි කරගත හැකි ය. විශේෂයෙන් වීදිය බණ්ඩාර කුමරු තම සතුරු සේනාවන්ට පහර දීමට යොදාගත් විශාල උමං මාර්ග වල ශේෂිත කොටස්, ඔවුන් භාවිත කළ භාණ්ඩ ප්‍රදේශය පුරා සොයාගත හැකිය.
කළුගල අතලේ ප්‍රදේශය පුරා ව්‍යාප්ත කහගල්ල නැමැති විහාල ගල් පර්වතය මුදුනෙහි ඇති උමගක ශේෂිත නටඹුන්, එම පර්වතය පාමුලින් ගලා බස්නා මගුරු ගං පතුලෙන් හමුවන පබළු, විවිධ කාසි සහ ගලෙන් කරනු ලැබූ පීඨීකාව පෙර කී ඉතිහාසයට සාක්‍ෂි ලෙස දැක්විය හැක. තවද හැඩිගල්ල ප්‍රදේශයේ ඇති ආයුධ කොටස් හමුවන ස්ථානයන්ද පාලින්ද නුවර ඉතිහාසය සනාථ කරන සාධකයන් වේ.
කෙළින්කන්ද බාමිපාර ප්‍රදේශය පුරා ව්‍යාප්ත ව ඇති විශාල ගල් පතුරු වලින් කරන ලද ශිලාමය බැම්ම වීදිය බණ්ඩාර සමයේ සතුරු සේනාවන්ගෙන් ආරක්‍ෂා වීම සඳහා යොදන ලද යුධ උපක්‍රමයකි. මෙවැනි විශාල ගල් බැම්මේ කොටස් දැනුදු ශේෂව තිබෙනු දැකිය හැක.
ස්ථිරවම සඳහන් කිරීමට තරම් සාධක නොමැති වුව ද ලත්පඳුර මහ සමන් දේවාලයේ ඇතුළත ගෘහයේ තැන්පත් කර ඇති සාධකය (සෝමනය) වීදීය බණ්ඩාර කුමරු පැළඳි සෝමනය බව විශ්වාස කෙරේ. කුමරු ගමන් ගත් ඇතා එම ස්ථානයේ දණ නමා අචාර කළ නිසා එහි යම් ආශ්වර්යයක් ඇති බව සිතූ වීදිය බණ්ඩාර පඩුරු පාක්කුඩම් පුජා කර සිහිවටනයක් ලෙස තමා පැළඳි සළුව පූජා කළ බව ඉතිහාසයේ සඳහන් වේ. මෙය සනාථ කිරීමට තරම් නිශ්චිත සාධක හඳුනාගෙන නොමැත.
මෙයට අමතරව මෝල්කාව, මලදුගල කන්ද, ගලහිටියාව, මොරපිටිය ආදී ප්‍රදේශ වලින් ද වීදිය බණ්ඩාර සමයට අයත් විවිධ ද්‍රව්‍යමය සාධක හමු වී ඇත. ඒ අතර ආයුධ , සෙම්බු , මාල, පළදනා සුලබව හමු වී ඇත.
ලිඛිත සාධක ( ඵෙතිහාසික මූලාශ්‍ර ආශ්‍රිත තොරතුරු)
පාලින්දනුවර ඉතිහාසය පිළිබඳව ලිඛිත සාධක හමුවනුයේ විශේෂයෙන් චූලවංශය හා රාජාවලිය යන ඵෙතිහාසික මූලාශ්‍රයන් හීදී ය. මේවායේ දැක්වෙන කරැණු පිළිබඳව පාලින්දනුවර පුරාතන ගද්‍ය - පද්‍ය සාහිත්‍ය තොරතුරු විග්‍රහයේ දී සඳහන් කරන ලදි.
ජනශ්‍රැති, ජනකතා හා මුඛ පරම්පරාගත තොරතුරු
මේ යටතේ අපට විශේෂයෙන් හඳුනාගත හැකි සාධකයන් පාලින්දනුවර ඵෙතිහාසික පසුබිම පිළිබඳ විමසීමේ දී දැක් විය හැක. එයට අමතර ව මෙම ප්‍රදේශයේ මුඛ පරම්පරාගත තොරතුරු බහුලවම සඳහන් වනුයේ ග්‍රාම නිර්මාණයේ දී ය. ඒවායේ නම් පටබැඳුනු අයුරු, විශේෂිත ස්ථානයන් නම් කරනු ලැබූ ආකාරයන් පිලිබඳ විමර්ශනය කිරීමේ දී මෙම කරුණු පිළිබඳව වැඩි විස්තර සාකච්ඡා කළ හැක.
කෙසේ නමුදු මෙකී සාධක ඉතා පැහැදිලි ලෙස පුරාවිද්‍යාත්මක විධි ක්‍රමයන් මගින් සනාථ කරනු ලැබූ සාධකයන් ලෙස දැක්විය නොහැක. එහෙත් ලිඛිත සාධක හා පෙර කී ද්‍රව්‍යමය සාධක පිළිබඳ ව අපට එකඟ නොවීමටට තරම් සාධාරණ සාක්‍ෂි පෙන්විය නොහැකි වේ. පාලින්දනුවර බල ප්‍රදේශය පුරා විහිදී ඇති 43 ක් තරම් ග්‍රාම නිලධාරී වසම් හෝ ගම්වල නම් නිර්මාණය වී ඇති ආකාරය විමසීමේ දී නිරන්තරවම දැක්වෙනුයේ මුඛ පරම්පරාගත තොරතුරු ඇසුරෙනි. එබදු මුඛ පරම්පරාගත තොරතුරු ප්‍රදේශයේ ගම්වල නම් නිර්මාණය වී ඇති අයුරු විමසීමේ දී සඳහන් කරනු ඇත. මෙයට අමතරව මෙම ප්‍රදේශය පුරා නිදන් පිහිටා ඇති බවත් විශ්වාස කරයි. එලෙස නිධාන ලෙස හඳුන්වනුයේ වීදිය බණ්ඩාර ප්‍රදේශයේ විවිධ ස්ථාන වල සැරිසැරීමේ දී ද්‍රවමය දෑ තැන්පත් කර ඇති ස්ථානයන් ය. ඒ අතර විශේෂයෙන් කළුගල ග්‍රාම නිලධාරී වසමට අයත් ගිනිහත්ගල, කහගල්ල ගල, කොඩිගල, යකුපිටිය, කෙළින්කන්ද, පැළෑඳ, ගල්කණුගොඩැල්ල පුරාණ විහාර භූමිය ආශ්‍රිත විශාල වගුරු බ්ම ආදී ස්ථානයන්හි එවැනි වටිනා වස්තුව තැන්පත් කරඇති බව ප්‍රදේශවාසීන් විශ්වාස කරයි. විශේෂයෙන් පැළැඳ ප්‍රදේශයේ ඇති විශාල ජලය සහිත ගැබ තුළ ඇති වලක වීදිය බණ්ඩාර කුමරුගේ සියළු වස්තුව තැනපත් කර ඇතුන් ලවා පාගා ඊට ඉහලින් ලී කොටන් දමා ඇති බව ප්‍රදේශයේ ජනතාව අතර විශ්වාසයක් පවතී.
වීදීය බණ්ඩාර රජුගේ යුද්ධ සේනාවට අයත් ව සිටි විශාල දේහධාරී මිනිස් කොට්ඨාශයක් පාලින්දනුවර ප්‍රදේශයේ මොල්කාව, හැඩිගල්ල, පැළැඳ ආදී ප්‍රදේශ වල පදිංචිව සිටි බව ද ප්‍රදේශවාසීන් පවසයි. එවැනි පරම්පරාවලින් පැවත එන පවුල් පැළැඳ, මෝල්කාව ප්‍රදේශ වල ඇති බව විශ්වාස කෙරේ. වීදිය බණ්ඩාර කුමරුගේ “ පොරව හමුදාව එවැනි දරුණු මිනිසුන්ගෙන් සැදුම්ලත් බවට විශ්වාස කරනු ලබයි.
වීදිය බණ්ඩාර කුමරු කෝට්ටේ රාජධානියේ ඇති වූ වියවුල් සහිත තත්වය තුළ පස්දුන් රට ප්‍රදේශයට පැන එන අතරතුර විශාල සේනාවක් ද ඔහු සමඟ පැමිණ ඇත. ඔහු තම ගමන් මගේ පස්දුන් රටට ඇතුළු වූයේ රයිගම, අටළුගම, කෙසෙල්හේනාව, රන්නගල ආදී ප්‍රදේශ පසු කරද්දී ඔහුගේ යුධ සේනාවට විශාල වශයෙන් මුස්ලිම් ජනතාව එක් වී ඇත. ඔවුන් පසුව පාලින්දනුවර ප්‍රදේශයේ පැළැඳ ග්‍රාමයේ වීදීය බණ්ඩාර රජුගේ වාසස්ථානය සමීපයේ ම පදිංචි ව ඇත. හෙට්ටිගේවත්ත, පල්ලියගොඩැල්ල ආදී ස්ථානවල ජීවත්වුණු මුස්ලිම් ජනයා එකී පරම්පරාවලින් පැවත එන බව විශ්වාස කෙරේ.
පාලින්දනුවර ඉතිහාසය අනුරාධපුර යුගයට තරම් ඈතට දිව යන බවක් ප්‍රදේශයේ ඇතැමුන්ගේ විශ්වාසයයි. විහේෂයෙන් හැඩිගල්ල ආදී ප්‍රදේශ වල ප්‍රාථමික මිනිසුන් ජීවත් වී ඇති බවත් විශ්වාස කරයි. මෙයට සාක්‍ෂි ලෙස ප්‍රදේශයේ තැන තැන විසිර ඇති සියුම් ගල් පතුරු ශිලාමය ආයුධ හැඩ ඇති බැවින් එසේ සිතිය හැක. එලෙසම ප්‍රදේශයේ ජනතාවගේ අදහස වන්නේ අනුරාධපුර යුගයේ දී මෙම ප්‍රදේශයේ ජනතාව විවිධ හේතු මත පදිංචි වී ඇති බවකි.
ප්‍රදේශය හරහා ගලා බසිනා මගුරු ගඟේ ප්‍රාථමික කොටසට අයත් මඟුර, බටගොඩවිල, හැඩිගල්ල, බොරළුගොඩ, අතලේ ආදී ප්‍රදේශවල ගංගාව දෙපස ඉතා පැරණි මිනිසුන් පදිංචිව සිටින්නට ඇතැයි ප්‍රදේශයේ බොහෝ දෙනෙකුගේ මතය වී ඇත. මේ බව සනාථ කිරීමට නිශ්චිත සාධක නොමැති වුවත් අපට එකවරම ඉවත් කල හැකි අදහස් ද නොවේ.
පාලින්දනුවර ප්‍රදේශීය බල ප්‍රදේශයට අයත් කළුගල ග්‍රාම නිලධාරී වසමේ කේන්ද්‍රගත වූ කළුගල ආරණ්‍ය සේනාසනය පිළිබඳව ඉතිහාස කතා ජනප්‍රවාද ප්‍රදේශයේ ප්‍රචලිත ව ඇත. එතරම්ම පැරණි ඉතිහාසයකට උරුමකම් නොකීව ද කළුගල ආරණ්‍ය සේනාසනය ඉතා ප්‍රසන්න පරිසරයකින් හෙබි ඉමහත් ප්‍රසිද්ධියට පත් ආගමික සිද්ධස්ථානයකි. මෙහි ආරම්භක පුරෝගාමියා වනුයේ දොන් පිලිප් සමරදිවාකර රාළහාමි නම් මීකිරිගල පදිංචි පුද්ගලයෙකි. ජනප්‍රවාදයේ සඳහන් පරිදි පෙලොන්නරුව ගල් විහාරයේ පිලිම වහන්සේගේ ශරීරය මත හිඳ විදේශිකයන් ඡයාරූපගත කිරීමේ සිද්ධිය නිසා කළකිරුණු විජේසුන්දර රාළහාමි බුදුදහම උදෙසා යම් මෙහෙවරක් ඉටු කළ යුතු යැයි සිතා ඇත. ඒ අනුව දිඹුලාගල ප්‍රදේශයේ බුදු දහම නගා සිටුවීමට කටයුතු කරන අතරතුර නිදි යහනේ සිටි රාළහාමිට සිහිනෙන් විත් මේඝදූත නම් දෙවි කෙනෙකු විසින් බුදුදහම නගා සිටුවීමට මහත් දායකත්වයක් සැපයිය හැකි ක්‍රමයක් ලෙස කළුගල කළුවාමෝදර ආදී ප්‍රදේහ වෙත ගොස් බුදු දහම නගා සිටුවීමට කටයුතු කරන ලෙස දැන් වූ බව පැවසේ. ඒ අනුව කළුගලප්‍රදේශයට පැමිණි සමරදිවාකර රාළහාමි ප්‍රදේශයේ වූ උස් කදු ගැටයක භික්‍ෂුන් වහන්සේලාට භවනා යෝගීව වැඩ කිරීමට සුදුසු භාවනා කුටි පහක් කටුමැටි බිත්ති සහිත ව සක්සකොට දී ඇත. 1942 දී පමණ ආරම්භ කරන ලද මෙම සේනාසනය භික්‍ෂුන් වහන්සේලාට වස් සමාදන් විය හැකි ආකාරයට සකස් කරන ලදි.බුදුගෙය, විහාරය ආදි අනෙකුත් ආගමික ස්ථාන 1949 වනවිට ඉදිකර අවසන් කළ අතර, පසුව කළුතර උග්ගල්බඩ ප්‍රදේශයෙන් ගෙන්වන ලද විහේෂිත වූ කළුගල් ශිල්පීන් විසින් විහාර භූමිය තුළ අලංකාර බුදුපිළිම භාවනා කුටි නිර්මාණය කර ඇත. අවුරුදු 30 ක් තිස්සේ නිර්මාණය කරන ලද අලංකාර කළුගල් නිර්මාණයන් අද වනවිට ප්‍රදේශයේ ඵෙතිහාසිකත්වය සංකේතවත් කරමින් සැදැහැවත් ආගමික වටපිටාවක් නිමවා ඇත. මෙහි ඇති විශේෂත්වය වනුයේ කළුගල සේනාසනයේ ඇති විශාල කළුගල් පර්වතයක් මතුකර ත්‍රිපිටක සාරාංශය හා කළුගල කතිකාවත ඉතා අලංකාර ලෙස කැටයම් කර ඇත. අජාසත් රජුගේ චෛත්‍ය ආකෘතිය අනුගමනය කර ඇති මෙහි පිවිසුම් දොරටුව තනි කළුගලෙන් නිමවා ඇත. මෙබදු ආකාරයට නිමවා ඇති මෙම ආරණ්‍ය සේනාසන ඉතිහාසය මීට වඩා බොහෝ ඈතට දිව යන බව ප්‍රදේශවාසීන්ගේ මතයයි. අවුරුදු සිය ගනනකට පෙර ද මෙහි භික‍්ෂූන් වහන්සේලා වැඩ සිට ඇති බව ජනප්‍රවාදයේ සඳහන් ව ඇත. කිරිමැටි ලෙන මංසන්දියෙන් පූජාලෙන මාර්ගයේ ගමන් කර වෙත්තපාන ඇල්ල නොහොත් ඇදවල නමැති ස්ථානය පිහිටා ඇත. මගුර කන්ද ඉස්මත්තේ පිහිටා ඇති මෙම ස්ථානයේ ඉතා පැරණි ශිලා ලේඛනයක් සහිත ගල් ලෙනක ආකෘතියක් දක්නට ඇති බව ප්‍රදේශවාසීන් අතර දැඩි විශ්වාසයක් ඇත. මගුර ගඟ ඉස්මත්තේ පිහිටි මෙහි ජලපහර ගලා බසිනුයේ මෙකී පටුගල් ඇද හරහා ය. එසේම මෙම කන්ද ආශ්‍රිත ව ජනාවාස වූ කිරිමැටිවල වාහෙට්ටි කන්ද ප්‍රදේශ තුළින් ඉතා පැරණි යැයි සිතිය හැකි විශාල ප්‍රමාණයේ උදළුතල, හඳුනාගත නොහැකි කාසි හමු වී ඇත.
1991 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්
| නම | සිට | දක්වා |
| වාස් ගුණවර් ධන | 1998 | 1998 |
| කේ. පියරත්න මයා | 1998 | 2001 |
| පී.ඩි. සිරිවර්ධන මයා | 2001 | 2003 |
| සිරිසෝම ලොකුවිතාන මයා | 2003. | 2009 |
| තරණි අනෝජා ගමගේ මිය | 2009 | 2013 |
| එල්.එල්.ඩි. තිලකරත්න මයා | 2013 | 2016 |
| එස්. ත්‍රීමාන්න මයා | 2016 |
2021 |
| බී.ඒ.එන්.දිල්රුක්ෂි | 2021 | 2022 |
| කේ.ටී.එස්.සාරංගි | 2022 | 2024 |
| කේ.පී.එල්.රෝෂිනී | 2024 | |
















